A+ A-

How to Avoid Getting Cheated at the Petrol Stations

පෙට්‍රල් ෂෙඩ්වලදී ඔබට කරන වංචාවන්ගෙන් වලකින්නේ කෙසේද?


සුලභව දකින් දෙයක් වුනත් මේ ගැන විස්තරාත්මකව ලංකාවේ වෙබ් සයිට් එකක දැක්කේ නැති නිසාත් හැමදාම දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වලින් එහාට ගිහින් සමාන්‍ය ජීවිතයේදී ඔබ අත්දකින දෙයක් වුනත් වැඩි විස්තර දන්නේ නැති දෙයක් නිසා ගොඩක් දෙනාට වැදගත් වෙයි කියලා මේ පෝස්ට් එක ලියනවා. ඔබට වාහනයක් තියනවද? මෙතනදී වාහනයක් කියන්නේ බයික්, ත්‍රීරෝද රථ සහ මෝටර් රථ, ලොරි මේ ඕනිම දෙයක් හැබැයි පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන එකක් වෙන්න ඕනි, ඔබට නැතිවුනත් සමහර විට ඔබ වෙනත් අයෙකුගේ වාහනයක් ධාවනය කරනවා වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් කිසියම් සමාගමක හෝ යම් නිලධාරියකුගේ රියදුරු විදියට වැඩ කරනවා වෙන්නත් පුලුවන්. මේ කිසිම දෙයක් නැති වුනත් ඔබට ඉතා වැදගත් වන දෙයක් ගැන තමයි මේ පෝස්ට් එක හරහා විස්තර කරලා දෙන්න යන්නේ.

Fuel Station වලදී එහෙමත් නැත්නම් පෙට්‍රල් ෂෙඩ් වලදී ඔබ වාහනයට ඉන්ධන ලබාගැනීමේදී බොහෝ අවස්ථාවල නොදැනුවත්වම ඔබ වංචාවලට හසුවන බව ඔබ දන්නවාද? සමහර විට දැනගන ඉන්නත් පුලුවන් නොදැන ඉන්නත් පුලුවන්, එහෙමත් නැත්නම් දැනගන හිටියත් මොනව කරන්නද කියලා හිතලා ඒක අයින් කරලා දාපු වෙලාවල් තියෙන්නත් පුලුවන්, විශේෂයෙන්ම කියන්න ඕනි අපි මෙතනදී කියන්නේ ලංකාවේ හැම ෂෙඩ් එකකම මේ දේ වෙනවා කියලා ඒත් අවාසනාවන්ත කමකට ගොඩක් තැන්වල මේ දේ වෙනවා කියන එක කැමැත්තකින් හෝ අකමැත්තකින් අපිට පිළිගන්න වෙනවා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල්වල මේක සුලභ දෙයක්.

දැන් ඉතින් ඔබ හිතනවා ඇති "ඔව් ඒක එහෙම වුනත් අපි මොනව කරන්නද කියලා". ඇත්තටම කරන්න දෙයක් තියනවා ඒතමයි ඉස්සල්ලාම ඔබ දැනුවත් වෙන්න ඕනි මොන මොන ආකාරයටද මේ වංචාවල් සිද්ධ වෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ ඒවා වලක්වාලගන්න නැත්නම් ගොඩක් අඩුකරගන්න කරන්න ඕනි මොනවද කියන එකත් අපි විස්තරාත්මකව මෙහි සදහන් කරනවා. කලින් කිව්වා වගේ හැම තැනකදීම මේ වගේ දේවල් වෙන්නෑ ඒත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ. හරි දැන් අපි පහලින් එකින් එක විස්තර කරන්නේ මේ වංචාවල් වෙන්නේ කොහොමද සහ ඒවා වලක්වාගන්න මොනවා ගැනද ඔබ දැනුවත් විය යුත්තේ කියන එක.

How to Avoid Getting Cheated at the Petrol Stations


1 - Intervening the Dispenser Nozzle


පලවෙනි කරුණ තමයි මේ, ඔබ වඩාත් හොදින් බලන්න මේ දේ කොහොමද වෙන්නේ කියන එක, සාමාන්‍යයෙන් ඉන්ධන පොම්පයක නැත්නම් මැෂින් එකක සටහන් වෙන ඒකක ප්‍රමානය කියන්නේ ඒ මැෂින් එකෙන් පොම්පයට සපයන ඉන්ධන ප්‍රමානයයි, නැතුව ඔබගේ රථයට ඇතුල් වන ඉන්ධන ප්‍රමානයම නෙමෙයි. මේ දෙක අතර පොඩි පරතරයක් තියනවා.ගොඩක් වෙලාවට බලන්න මේ දේ වෙනවා නේද කියලා. ඔබ ඉන්ධන ඉල්ලුම් කරන්නේ මුදලින්, අපි හිතමුකෝ රු:1000.00 ක පෙට්‍රල් ගහන්න කිව්වා කියලා. මැෂින් එක ඔන් කරලා පෙට්‍රල් පොම්පය අදාල ඉන්ධන ටැංකියට දාලා ගොඩල් වෙලාවට ඒක ඔපරේට් කරන කෙනා පොම්පයේ කෙලවර අල්ලගන ඉන්නවා නේද? ඒත් එහෙම අවශ්‍ය වෙන්නෑ මොකද අදාල ගානට සරිලන ඉන්ධන ප්‍රමානය ඔබගේ ටැංකියට පැමිනීමෙන් පසුව මැෂින් එක ස්වයංක්‍රීයව ඕෆ් වෙනවා.එහෙනම් ඇයි ඔහු ඒක අල්ලගන ඉන්නේ? 

මෙතනදී සමහර වෙලාවට කිසිම වංචාවක් සිදු නොවෙන්න පුලුවන් ඒත් තව දෙයක් තියනවා පෙට්‍රල් පොම්පයක කෙලවට ලීවරයක් තියනවා ඒක උඩට අරන් ලොක් කරලා ඉන්ධන ටැංකියට අදාල ඉන්ධන ප්‍රමානය පිරෙන්න දෙන්න පුලුවන්. ඒත් සමහර දෙනා කරන්නේ අර ලීවරය ලොක් නොකර ඒක අල්ලගන ඉන්නවා. එතනදී ඔහු නියමිත ඉන්ධන පොම්පයේ නියමිත පීඩනය වෙනස් කලොත් වෙන්නේ මොකක්ද? ඔබ හොදින් බලන්න අවසන් ඉන්ධන ප්‍රමානය පිරෙද්දී ඔහුගේ අත පොම්පයේ ලීවරයට යන්නැද්ද කියලා. ඔබට පේන්නේ නැහැ ඔහු ලීවරය ස්පර්ශ කරනවද නැද්ද කියන එක. ඒත් එහෙම ස්පර්ශ කලොත් නැත්නම් පීඩනය වෙනස් කලොත් අන්තිම ඉන්ධන ප්‍රමානයේදී වෙන්නේ මැෂින් එක ඔටෝ ඕෆ් වෙනකොට ඔබට හිමි නියමිත් ඉන්ධන ප්‍රමානය ටැංකියට වැටෙන්නේ නැහැ මොකද ඔහු පීඩනය වෙනස් කරනකොට ටැංකියට තෙල් එන්නේ හිමින් ඒත් මැෂින් එක ඕෆ් වුනු විගස ඔහු මොකද කරන්නේ පොම්පය අහකට ගන්නවා එතනදි ඔබට හිමි යම් ඉන්ධන ප්‍රමානයක් බටය තුල අන්තර්ගත වෙනවා . මෙසේ තියන ඉන්ධන ප්‍රමානය ලොකු ප්‍රමානයක් නොවුනත් ඔබට ගොඩක් වෙලාවට මේ දේ වෙනකොට කොච්චර ඉන්ධන ප්‍රමානයක් ඔබට නොලැබී ඇත්ද?

මෙක කොහොමද වලක්වන්නේ? හරිම සරලයි. ඉන්ධන පිරවීම ආරම්භ වුනු වෙලාවේ ඉදලා අවසන් වෙනකන් ඔහුට කියන්න ලීවරය සහිත කෙලවර ස්පර්ශ නොකරන ලෙසට මොකද මැෂින් එක ඔටෝ ඕෆ් වෙන නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම බලන්න මැෂින් එක ඔටෝ ඕෆ් වෙන්න තත්පර ගනනකට කලින් ඔහු ලීවරය නවත්වනවද කියන එක. කලින් කිව්වා වගේ ඉන්ධන සපයන පුද්ගලයාට ඔබ කිව්වොත් මැෂින් එක ඕෆ් වෙනකන් අදාල ලීවරය සහිත පෙදෙස ස්පර්ශ කරන්න එපා කියලා ඔබට පුලුවන් මේ වංචාව වලක්වා ගන්න. මේ පෝස්ට් එක ලියන්න පොඩ්ඩකට කලින් මම හෝමාගම ප්‍රදේශයේ එක්තරා ඉන්ධන හලකින් ප්‍රෙට්‍රල් ගහනකොට ඕක කිව්වා. මිනිහට කේන්ති ගියා ඉතින් ඒකට ඇයි කේන්ති ගන්නේ මොකුත් වෙන්නේ නැත්නම්? මිනිහා කියනවා අපි බොරු කරනවා කියලද හිතන්නේ කියලා කෑගහලා. මමත් ඒ සද්දෙන්ම කිව්වා බොරු නොකරන්න තමයි එහම කියන්නේ කියලා ටිකක් හයියෙන් මොකද ඒ වෙලාවේ කට්ටිය ඇවිල්ලා හිටියා තෙල් ගහන්න. මිනිහා ඊට පස්සේ මොකුත් කිව්වේ නැහැ.ඒවගේම මැෂින් එක ඕෆ් වූ විගසම ක්ෂනයකින් ඔහු පොම්පය අයින් කරන්න හදනවානම් ඒක නවත්වන්න මොකද ඒවෙලාවේ ඔබට නියමිත් ඉන්ධන සුළු ප්‍රමානයක් හෝ ඔබට නොලැබී යන්න පුලුවන්.

2 - Always watch closely


සමහර අය කම්මැලිකමට වාහනෙන් බහින්නේ නැතිව කියනවා අදාල ගාන කියලා තෙල් ගහන්න කියලා ඒත් එහෙම කරනොට ඔහු දන්නෑ මීටරේ රීසෙට් වෙලා තියනවද නැද්ද එහමත් නැත්නම් අපි කලින් කියපු කරුන මේ කිසිම දෙයක්, එක නිසා තවත් දෙයක් තමයි මොන තරම් ඔබට හදිස්සි වුනත් ඉන්ධන සපයන වෙලාවේ වාහනෙන් බැහැලා පොම්පය ලගට ගිහින් බලාගන ඉන්න.ඉස්සල්ලාම බලන්න ඔබට ඉන්ධන සපයන වෙලාවේ මැෂින් එකේ අගය 0 ද තියෙන්නේ කියන එක. ඒ වගේම් ඉන්ධන පුරවලා අවසන් වෙන්න කලින් සල්ලි දෙන්න යන්න එපා හැමවෙලාවෙම ඉධන පිරවීම ඉවරවුනාට පස්සේ අදාල මුදල ගෙවන්න පුරුද්දක් කරගන්න. මොකද ඔබ කලින් මුදල් ගෙවලා මොන හේතුවක් නිසා හරි මැෂින් එක නැවතුනොත් තවත් දෙයක් වෙනවා ඒක ඉදිරි කරුනක් තුලදී අපි විස්තර කරලා තියනවා.

ඔහුත් එක්ක කිසිදු ආකාරයේ අනවශ්‍ය කතාබහක් ඇතිකරගන්න එපා මොකද එතකොට වෙන්නේ ඔබගේ අවධානය බිද වැටෙන එක.සමහර දෙනා වාහනෙන් බහිනකොටම අනවශ්‍ය කතාවලට ඔබව ඇදගන්නවා, මේ වාහනේ ගාන කීයද , ඇතුලේ කොහොමද , මගේ යාලුවෙකුත් මේවගේ එකක් හොය හොය ඉන්නේ මේ වගේ ගොන් කතා ගොඩක් කියලා ඔබේ අවධානය බිද දමන එක සමහර අයට සුළු දෙයක් එතනදී වෙන්නේ ඔබ ඒවට උත්තර දෙන්න කල්පනා කරන වෙලාවේ අනික් පැත්තෙන් ඔබට පාර දීලා ඉවරයි. ඒක නිසා හොදට මීරරේ දිහා සහ අපි කලින් කියපු කරුන ගැන සැලකිල්ලෙන් බලාගන ඉන්න. එතකොට අදාල පුද්ගලයා වංචාවක් කරන්න හදනවානම් ඒක කරන්න අමාරු වෙනවා.

3 - Never ask for a Petrol / Diesel worth of any round figure


අවාසනාවකට වගේ ලංකාවේ සමහර ෂෙඩ් වල මැෂින් එකත් හොර විදියට හදනවා.පිටරටවල්වල මේවා නැති වුනත් ඕනි දෙයක් කරන ලංකාවේ පොරවල්වලට මේවා සුළු දේවල් කියන එක අමුතුවෙන් කියන්න ඕනි දෙයක් නෙමෙයිනේ. සමහර ෂෙඩ්වල මැෂින්වල පොඩි මාට්ටුවක් දාලා තියෙන්නේ ඒ කියන්නේ මේ වගේ දෙයක්. ගොඩක් වෙලාවට බලන්න ගොඩක් දෙනා ඉන්ධන පුරවන්නේ රු:500 / 1000 / 2000 / 5000 ඔය වගේ රවුම් ඉලක්කම් වලින්. මේ වගේ වෙලාවකදී සමහර අය මොකද කරලා තියෙන්නේ මේ වගේ සුලභව භාවිතා වෙන රවුම් අගයක් මැෂින් එකට දුන්නහම මැෂින් එක සකස් කරලා තියනවා ඒ අගයට පොඩ්ඩක් අඩුවෙන් ඉන්ධන ආවහම අදාල අගය පෙන්නන විදියට. දැන් මොකද වෙන්නේ අපි කලින් කියපු කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔක්කෝම හරියට වෙනවා වගේ ඔබටත් පෙනෙයි ඒත් අන්තිමේදී ඔබ ගෙවපු ප්‍රමානයට ඉන්ධන පිරවෙන්නේ නැහැ, මේ ප්‍රමානයත් ලොකු ගානක් නොවෙන්න පුලුවන් ඒත් ඔබ ගෙවපු සල්ලිවලට ඉන්ධන ලැබිලා නෑනේ අන්තිමේදී.

මේකට මොකක්ද කරන්න පුලුවන්. එකම දේ තමයි මේ වගේ රවුම් අගයන්ගෙන් ඉන්ධන ඉල්ලුම් නොකර එහෙම නැති අගයක්ගෙන් ඉල්ලන එක .උදාහරණයක් විදියට ඔබට පුලුවන් රු:1000.00 ක ගහන්න කියන්නේ නැතිව රු:1122.00 ක ගහන්න කියන්න, හැබැයි අදාල මාරු සල්ලි තියාගන්න වෙනවා එහෙම නැත්නම් ඔබ කාඩ් එකකින් නම් පේමන්ට් කරන්නේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අර වගේ රවුම් අගයක් නැහැ ඒ වගේම මේ වගේ ගනන් අනුමාන කරන්නත් අමාරුයි එතකොට ඔබට අවශ්‍ය නියමිත ඉන්ධන ප්‍රමානයම මැෂින් එකෙන් නිකුත් වෙනවා ටැංකියට.

4 - Always keep an idea about fuel meter


හැම වෙලාවකම සාමාන්‍ය අදහස්ක් තියා ගන්න ඔබ ඉන්ධන ගහපු ප්‍රමානයට අදාලව වාහනේ ඉන්ධන මීටරය කට්ට කීයක් වෙනස් වෙන්න ඕනිද කියන එක. අලුතින් එන සමහර වාහනවලනම් මේක ඩිජිටල් විදියට තියන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ ඒත් ඔබ භාවිතා කරනේ පරන සිස්ටම් එකනම් ඔබේ මීටරය සමහර විට කට්ට වගේ තියන එකක් හරි එහෙමත් නැත්නම් කැරකෙන් කටුවක් සහිත එකක් හරි වෙන්න පුලුවන්. කොහොම වුනත් ඔබට සාමාන්‍ය අදහසක් තියනවානම් ලීටර් මෙච්චරක් ආවහම මීටරේ මෙච්චරක් යන්න ඕනි කියලා ඒක ගොඩක් වැදගත් මොකද එතකොට ඉන්ධන පුරවලා ඉවරවුනාට පස්සේ වාහනේ ස්ටාර්ට් කරනකොටම ඔබට දල අදහසක් ගන්න පුලුවන් වාහනයට ඇතුල් වෙලා තියන ඉන්ධන ප්‍රමානය ආසන්න වශයෙන් ඔබ ඉල්ලුම් කල ප්‍රමානයට සමානද නැද්ද කියන එක.

හැබැයි සමාන නැතිවුනා කියලා ඔබට ආයිත් තර්ක කරන්න බැරිවෙයි පොම්පකරු එක්ක ඒත් ඒවගේ දෙයක් දැනෙනවානම් නැවත ඔබ ඉන්ධන පුරවනකොට ඔබට පුලුවන් අපි කියන මේ කරුනු ගැන වඩාත් හොද අවධානයකින් ඉන්න ඉන්ධන පුරවන අවස්ථාවේදී.ඒවගේම ඔබට සාමාන්‍ය අදහසක් තියනවානම් ලීටර් මෙච්චර ගැහුවහම මේ වගේ කිලෝමීටර් ගානක් යන්න පුලුවන් කියලා ඒතනදීත් බලන්න පුලුවන් ආසන්න වශයෙන් නියමිත තෙල් ප්‍රමානය ඇවිල්ලද කියන එක, ලංකාවේ ට්‍රැෆිල් එක්කනම් මේක ටිකක් ප්‍රායෝගිකව කරන්න අමාරු වුනත් ආසන්න වශයෙන් ඔබට මේ ගනනය කිරීම කරන්න පුලුවන්, උදාහරණයක් විදියට තෙල් ගහලා ඉවරවෙලා යනකොට ඔබට පුලුවන් A/B මේ මීටර් දෙකෙන් එකක් සීරෝ කරලා බලන්න තෙල් අඩුවෙනකොට මොන වගේ දුරක් ධාවනය කරලා තියනවද කියලා.

5 - Make sure you vehicle is placed at a distance from the system


ඕන් තව එකක්, ඒ තමයි සමහර වෙලාවට බලන්න සමහර මැෂින් වල ඉන්ධන බටේ පට්ට දිගයි මේ වගේ දිග ගොඩක් වැඩි වුනහම වෙන්නේ අන්තිම අවස්ථවේදී ඔවුන් නොසලය සහිත කොටස ටැංකියෙන් ඉවත් කරන කොට කොටසක් අර බටේ ඇතුලේ රැදෙන එක. දැන් මොකද වෙන්නේ? මොකක් වෙන්නද ආයිත් ඔබව ගොනාට අන්දලා විතරයි.

මේකට කරන්න පුලුවන් එක් විකල්පයක් තමයි ඉන්ධන මැෂින් එකට පරතරයක් සහිතව වාහනේ නවත්වන්න. සමහර වෙලාවට කියයි තව ලං කරන්න කියලා මොකද ගොඩක් දෙනා හදනවා ඔබගේ ඉන්ධන ටැංකිය හැකිතාක් මැෂින් එකට ලං කරලා නවත්තගන්න මොකද එතකොට උඩ කියපු වැඩේ නිකම්ම වෙනවනේ. ඇත්තටම බටේ දිගනම් මොකටද එච්චර ලං කරලා නවත්තන්නේ? ඒක නිසා පොඩි පරතරයක් සහිතව නවත්වන්න එතකොට අනවශ්‍ය ආකාරයට ඉන්ධන බටේ බිම කරකැවිලා ඇඹරිලා තියෙන්නේ නැහැ.

6 - It's better to pay through card


මේකනම් හැම කෙනාටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒත් අද කාලේ ගොඩක් දෙනා ලග Credit Card නැත්ත් Debit Card එකක් හරි තියනවනේ. මේක හැමවෙලාවෙම වලංගු වෙන්නේ නැහැ, ඒත් කිසියම් අවස්ථාවක ඔබ කිව්වොත් ෆුල් ටෑන්ක් ගහන්න කියලා (ඉදිරි කරුනකදී අපි විස්තර කරනවා ෆුල් ටෑන්ක් ගහන එක ඔබට පාඩු වෙන විදිය) ඒ වගේ වෙලාවකදී අන්තිමට ඔබ ගෙවන්න ඕනි කරන මුදල රවුම් අගයක නවතින්නේ නැහැ ගොඩක් වෙලාවට.

උදාහරණයක් හැටියට අපි හිතමු අන්තිමට ඔබට ගෙවන්න ඕනි වෙන අගය රු:1802.80 ක් වගේ අගයක් වුනා කියලා. ආසන්න වශයෙන් ඔබ සල්ලිවලින් ගෙවනවා රු:1850.00 ක් කියලා හිතමු. ඒ වගේ වෙලාවක පොම්පකරු ඉතිරි සල්ලි වෙනුවට රු:40.00 ක් දීලා කියන්න පුලුවන් අනික් රු:7.20 දෙන්න මාරු සල්ලි නැහැ කියලා ඒත් ඒවගේ වෙලාවක ගොඩක් දුරට වෙන්නේ ඔබ ඒ අගය අමතක කරලා දාලා යන එක. ඒත් ඔබ කාඩ් එකකින් ගෙව්වානම් ඇත්තම අගය පමනක් ඔබට ගෙවන්න පුලුවන් එතකොට අර අමතරව වැයවෙන ගානත් ඉතුරුයි නේද? මේක පොඩි කරුණක් ඒත් ඒ ගානත් ඔබ උපයන සල්ලි ඒක නිසා ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ ලග කාඩ් එකක් නැත්නම් කරන්න තියන ලේසිම විදිය තමයි අපි ඉස්සල්ලාම සදහන් කරපු කරුන එහෙමත් නැත්නම් රවුම් නොවන ගානක් දීලා ඒ ගානට සරිලන ඉන්ධන ටැංකියට ගහන්න කියන එක. ඒත් මේ වගේ වෙලාවන්වලදී වෙන තව දෙයක් තියනවා ඒතමයි ඔබ ඉන්ධන පුරවා අවසන් කරන්න පෙර කාඩ් එක දික්කරලා රු:2000.00 ගහන්න කිව්වොත් අදාල පොම්පකරු කියන්න පුලුවන් මීටරේ සෙට් කරලා "මහත්තයා අතනට ගිහින් ගෙවලා එන්න" කියලා . ඔබ අදාල තැනට ගිහින් ගෙවීම් කරලා එනකොට මිනිහා තෙල් ගහලා ඉවරයි. ඒත් ඔබ හිතනවද අදාල මුදලට සරිලන ඉන්ධන ගැහුවා කියලා? එහෙම වෙන්නත් පුලුවන්. ඒත් ලංකාව වගේ රටකදීනම් එහෙම වෙනවට වඩා නොවෙන්න තියන හැකියාව ඉතා වැඩියි, ඒක නිසා මේ වගේ වෙලාවකදී අපි කලින් විස්තර කරපු ඒවා අනුගමනය කරන්න. උදාහරණයක් හැටියට තෙල් පුරවා අවසාන වන තෙක් ඔබගේ කාඩ් එක ඔහුට දුක් කරන්න යන්න එපා.

7 - Deviation 


මෙකත් ගොඩක් සුලභව වෙන දෙයක්,උදාහරණයක් හැටියට අපි හිතමු ඔබ කිව්ව කියලා රු:800.00 ක තෙල් ගහන්න කියලා මිනිහා මොකද කරන්නේ ඔබ බලාගන හිටියත් මිනිහා 200.00 ක ගහලා නවත්තනවා. ඔබ අනිවාර්යෙන්ම අහනවා ඇයි 200.00 ගැහුවේ 800.00 ක නේද ගහන්න කිව්වේ කියලා. ඔහු අනිවාර්යෙන්ම මොකක් හරි නිදහසට දෙයක් කියයි උදාහරණයක් විදියට ඔහුට ඇහුනේ ඒවගේ කියලා. දැන් මොකද වෙන්නේ?

මිනිහා ආයිත් තෙල් ගහනවා ඉතුරු 600.00 ට හරියන්න ඒත් මේ පාර මොකද මිනිහා දාන ජිල්මාට් එක? එතමයි දෙවනි පාර තෙල් ගහනකොට මිනිහා ඔබට පේන්න දෙන්නෑ පටන් ගන්න තැන. ඒකියන්නේ මිනිහා මැෂින් එක රීසෙට් කරන්නේ නැතිව ගහනවා මැනුවල් 600.00 ක් නැත්නම් හරියට අදාල තැනදී රීසෙට් කරන්නේ නැතිව ගහනවා. රීසෙට් කරන්නෑ කිව්වේ සීරෝ කියන අගය ඇතුලත් කරන්නේ නැතිව තමයි වැඩේ දෙන්නේ.දැන් මොකද වෙන්නේ මැනුවල් ගහකොට මිනිහා තමයි අදාල නොසලය පාලනය කරන්නේ ඒවගේ වෙලවකදී වෙන එක අපි කලින් කිව්වා ඒ තමයි අදාල තැනදී නවත්තනකොට බටය තුල පීඩන වෙනස නිසා පොඩි ඉන්ධන ප්‍රමානයක් බටය තුල ඉතිරු වෙනවා. දැන් කාටහරි කියන්න පුලුවන් ඉතින් බටේ ඇතුලේ ඉතිරි වෙන ටික ඊලගට එන වාහනේට එනවනේ කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ . මොකද වෙන්නේ කියනවනම් බටේ ඇතුලේ ඉතිරි වෙන ටික අන්තිමට මැෂින් එක ඕටෝ ඕෆ් වෙන සිග්නල් එක ආපු ගමන්ම ආපහු භූගත ටැංකිය තුලට යනවා, මේ හා සම්භන්ධ වීඩියෝ එකක් පහල අපි දාලා ඇති.

ඔබට මේ වගේ දේකට මුහුණ දෙන්න සිදුවුනොත් කරන්න තියන දේ තමයි දෙවනි වර ඔහු නැවත ඉන්ධන පිරවීමේදී හොදින් පරීක්ෂාකාරී වෙන්න 0 කියන අගයට නැත්නම් සීරෝ අගයට මීටරේ රීසෙට් කරලද නැවත ඉන්ධන ගහන්නේ කියන එක ගැන.

සාමාන්‍යයෙන් එක් ඉන්ධන පොම්පයක් එක් අයෙක් තමයි නිශ්චිත කාලයක් තුල ඉන්නේ, ඔහු ඉවත් වෙනකොට අදාල ඉන්ධන පොම්පයෙන් නිකුත් වූ ඉන්ධනවලට සරිලන මුදල අදාල ෂෙඩ් එකට ගෙවිය යුතුයි. ඒත් කලින් වගේ අවස්ථාවක මොකද වෙන්නේ ඔබ රු:800.00 ක තෙල් ගැහුවා කියලා හිතුවට අන්තිමට බටේ ඇතුලේ ඉතිරි වෙන ටික ආපහු ටැංකියට ගිහින් ඒත් ඔබ රු:800.00 ක් ගෙවලා.ඒත් ආපහු ටැංකියට ගිය නිසා ඒ ප්‍රමානය මැෂින් එකේ රීඩින් වල ආපහු අඩුවෙනවා. අදාල කාලය අවසානයේ පොම්පකරුට ගෙවන්න වෙන්නේ සත්‍ය වශයෙන්ම අදාල පොම්පයෙන් පිටතට ගිය ඉන්ධන ප්‍රමානයට පමනයි. එත් හිතලා බලන්න අර වගේ සිද්ධි කොච්චර ගනනකින් මිනිහා පොඩි පොඩි මුදල් ප්‍රමාන වංචා කරලද කියලා. අවසානයේ මේ මුදල් එකතු වුනහම කොච්චර මිනිහට ඉතිරි වෙයිද? ඒක හිතාගන්න බැහැ මොකද ඒ කාලය තුල කොච්චර වාහන ඒ පොම්පයෙන් ඉන්ධන පුරවාගන්නවද කියන එකත් එක්ක ඒක රදාපවතිනවා.නමුත් ඒක ගොඩක් පොඩි මුදල් අගයක් නම් වෙන්නේ නැහැ කියන ඒක සහතිකයි.

8 - Manipulating Machines


දැන්නම් ටිකක් අඩුවුනාට මේකත් වෙන දෙයක්.මෙතනදී මොකක්ද වෙන්නේ. ඔබ වාහනය නවත්වලා ඉන්ධන ගහන්න යනකොට හිතන්න ඔබ රු:1000.00 ක ගහන්න කිව්වා කියලා ඔබ දකිනවා මීටරේ සීරෝ නෙමෙයි 100.00 ක් කියලා තියෙන්නේ කියලා. ඔබ මොකද කරන්නේ ඔබ අහනවා ඇයි ඒක සීරෝ නැත්තේ කියලා. මිනිහා දන්නවා ඕක අහනවා කියලා ඉතින් කලින් ඉදන්ම උත්තරේ රෙඩි කරගන තමයි තියෙන්නේ. ඔබට හිතාගන්න පුලුවන්ද ඔහු දෙන පිළිතුර මොනවගේ එකක්ද කියලා? 

මිනිහා කියනවා ඒ පෙන්නන්නේ ඊට පොඩ්ඩකට කලින් ගිය වාහනේට ගහපු ගාන මොකද මැෂින් එකේ අන්තිම ගාන පෙන්නවා මොකද හදිස්සියෙන්වත් අමතක වෙලා කලින් ගිය කෙනා රිසිට් එකක් ඉල්ලුවොත් එක දෙන්න පුලුවන් එතකොට කියලා. මේ වගේ රට පටලවලා කිව්වට පස්සේ (මේ පොරවල් දන්නවා කොහොමද සීරියස් විදියට ඕක කියන්නේ කියලා) ඔබත් වයර් වෙලා හිතනවා ආ ඇත්ත නේද කියලා. අන්තිමේදී ඔබත් රු:1000.00 ක් තෙල් ගහගන යනවා. අන්තිමට වෙලා තියෙන්නේ ඔබටත් නොදැනීම ඔබේ රු:100.00 කට මිනිහා විදලා මොකද අන්තිම අගය රු:1000.00 ක් වෙන්න මිනිහා ගහන්නේ මැෂින් එක සීරෝ නොකර අන්තිමේදී බලනකොට රු:1000.00 ක් ගෙවලා ඔබට ලැබිලා තියෙන්නේ රු:900.00 ක තෙල් පමනයි. කලින් කිව්වා වගේ මේ වගේ පොඩි වෙනසක් ඔබගේ වාහනේ ඉන්ධන මීටරේ හොයන්න අමාරුයි එක පාරටම ඒක ඩිජිටල් එකක් නෙමෙයිනම්. පස්සේ ඉතින් ඔබත් හිතනවා ඇති මේ පාර එච්චර දුර දිව්වේ නැහැ තෙල් ගහලා කියලා ඒකටම තකට තක හරියන්න ලංකාවේ ට්‍රැෆික් එකත් තියනවනේ මදි නොකියන්න ඉතින් පස්සේ ඔබම ඒක සාධාරණීකරනය කරගන්නකොට ට්‍රැෆික් ගැන හිතලා ඔබ දන්නේ නැහැ ඔබටත් නොදැනිම ඔබේ රු:100.00 කට මිනිහා විදලා කියලා. මේ වගේ දේවල් ගොඩක් වෙන්නේ තෙල් ගහන්න පෝලිම් තියනකොට මොකද ඔබටත් අවශ්‍ය වෙන්නේ ඉක්මනට තෙල් ගහගන යන්න නිසා වගේම වාහනත් පේලියක් තියන නිසා මේ වගේ කරුණු ඔබට මගඇරෙනවා. ඒක නිසා වාහනේ තෙල් අඩුනම් කලින් සූදානම් වෙන්න සෙනග අඩු උදේ පාන්දරම තෙල් ගහගන්න. උදෑසනම තෙල් ගහගන්න එකේ තව වාසියක් (මේක 100% ඇත්තද කියලා දන්නෑ) අපි පහලින් දාලා තියනවා.

9 - Returning lesser amount


බයික් වලට දෙන ගේමක් තමයි මේක. දන්නවනේ ඉතින් බයික්වල යන අය එකපාර 1000 / 2000 ගහන්නෑනේ තෙල් 300 / 500 වගේ ගනන්නේ ගහන්නේ මොකද බයික් එකක් එක ලීටරේකට දුවන දුර වැඩි නිසා වගේම ඉන්ධන ටැංකියත් පොඩියිනේ. මේ වගේ වෙලාවක දෙන පෝරියල් එකක් තමයි මේක. මෙතනදී මොකද වෙන්නේ ඉතිරි සල්ලි අඩුවෙන් දෙනවා ඔබට. දැන් හිතනවා ඇති කොහොමද ඒක වෙන්නේ කියලා.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

හිතන්නකෝ මෙහෙම ඔබ දෙනවා රු: 500.00 ක්, දීලා රු: 100.00 ක තෙල් ගහන්න කියනවා. මෑන් මොකද කරන්නේ මිනිහා ඔබ කිව්වා වගේම ගහනවා රු: 100.00 ට හරියන්න තෙල්. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. දැන් අනික් අතට ඔබට රු: 400.00 ක් ආපහු දිය යුතුයි. මෙයාලා දවස පුරාම කරන්නේ සල්ලි ගනන් කරන එක නිසා බූරු කුට්ටමේ කාඩ් අත වගෙ මෙයාලට පුලුවන් සල්ලි ගනන් කරන්න. දැන් වෙන්නේ පොම්පකරු ගන්නවා රු:100.00 කොල තුනක් පසසේ ඔබ ඉස්සරහම ගනන් කරනවා, කොච්චර දක්ෂ විදියට මේ අය මේක කරනවද කිව්වොත් ඔබට පේන්නේ රු:100.00 කොල හතරක් ගනන් කරලා දුන්නා වගේ ඉතින් ඔබ ආපහු ඒක ගනන් කරන්නේ නැතිව සක්කුවේ දාගන යනවා. පස්සේ තමයි වැඩේ අහුවෙන්නේ. ඒත් ආපහු ගියාට වැඩක් නෑ මොකද මිනිහට කියන්න පුලුවන් රු:100.00 කොල හතරක් ෂුවර් එකටම දුන්නා එහෙමත් නැත්නම් ඒ වෙලාවේ ඇයි කිව්වේ නැත්තේ කියලා. දැන් මොකද වෙන්නේ ඔබේ රු:100.00 කට ආයිත් විදලා නේද?

ඒත් ඔබ එක එක නෝට්ටුව ඒ වෙලාවේම ගනන් කරනවා දැක්කොත් ඔවුන් මොකද කරන්නේ වැඩේ පත්තුවෙන බව දන්නවා ඒක නිසා රු:50.00 කොල දෙකක් සල්ලි ඇතුලෙන් හොයනවා වගේ ටිකක් හොය හොය ඉන්නවා ඔබ අනික් අතට 100.00 ක් මදි කියන්න හදන කොටම ඔවුන් අර රු 50.00 කොල දෙක දෙනවා. එතකොට ඔබට ඔවුන්ට වැරැද්දක් කියන්න බැහැ මොකද ඔවුන් කියයි 50.00 කොල දෙක හොයනකම් තමයි 100.00 කොල තුන දුන්නේ කියලා. තව දෙයක් තමයි සමහර වෙලාවට ඔබ රු: 2000.00 කොලයක් දීලා 1000.00 ක ගහන්න කියනවා (රු: 2000.00 කොල දැන්නම් භාවිතය අඩුයි). මිනිහා මොකද කරන්නේ ෂේප් එකේ ඔබව කතාවට අල්ලගන්නවා නැත්නම් මිනිහගේ දුකක් කියනවා." මහත්තයට කියන්න උදේ ඉදන් තාම හිටගන කකුල් කැඩෙන්න වගේ" මේ වගේ ඒවා. ඉතින් ඔබත් අහුවුනොත් වැඩේ හරි ඔබත් කියයි ඇත්ත නේද ඉතින් කීයටද ඕෆ් වෙන්නේ මේ වගේ ඒවා. කොහොම කොහොමින් හරි ඔබ යනවා ඉතිරි 1000.00 ගන්න අමතක වෙනවා මොකද සමහර වෙලාවට ඔබටත් 2000.00 කොලයක් දුන්නු නිසා 1000.00 ක් වගේ තමයි මතක මෑන්ගේ කට්ට වචන ටිකට. පස්සේ දැනගන්නකොට වැඩක් නැහැ , මිනිහා කියයි 1000.00 ෂුවර් එකට ඉතිරි දුන්නා කියලා මොනවා කරන්නද? CCTV කැමරා වලින් ඕන්නම් දැන් හොයාගන්න පුලුවන් තමයි ඒත් ඉතින් ඒකට වෙලා යනවා වගේම එතනටම ෆෝකස් වෙච්ච එකක් තියෙන්නත් එපැයි.

10 - Do not fill full tank


ඉස්සල්ලාම කියන්න ඕනි සමහර අය අතර මතයක් තියනවා ෆුල් ටෑන්ක් ගහලා දුවනකොට වැඩි දුරක් දුවන්න පුලුවන් කියලා එක ලීටරේකට. ඒත් ඒක කිසිම විද්‍යාත්මක පදනකමක් සහිත එකක නෙමෙයි අපි හොයලා බලපු විදියට. ඒකේ අනික් පැත්ත තමයි වෙන්න පුලුවන්. ඒ කියන්නේ මෙහෙමයි ඕනිම වාහනයකට පටවලා තියන බර වැඩිවෙන්න වැඩිවෙන්න තමයි තෙල් වැඩිපුර පිච්චෙන්නේ මොකද කියනවානම් එතකොට අර සියලුම බර සහිතව වාහනය ගමන් කරවන්න වැඩි ශක්තියක් අවශ්‍ය වෙන නිසා එන්ජින් එක හරහා වැඩි ශක්තියක් ජනනය කරවනවා. ඔබ ෆුල් ටෑන්ක් ගහගන යනවා කියන්නේ අවශ්‍ය ප්‍රමානයට වඩා අමතර තෙල් ප්‍රමානයක් වාහනය ඇදගන යනවා වගේම ඒ තෙල්වල තියන බර වාහනයට අමතර බරක් විතරයි. ඒක නිසා විද්‍යාත්මකව වෙන්න පුලුවන් දේ තමයි ෆුල් ටෑන්ක් කරලා යනකොට ලීටරේකට යන්න පුලුවන් කිලෝමීටර් ප්‍රමානය අඩුවිය යුතුයි සාමාන්‍ය තත්වයකදීට වඩා.

ඉස්සර කාලේනම් මේක කරනවා මොකද ඉන්ධන පිරවුම්හලවල් සුලභ නැති නිසා, ඒත් අද කාලේ ලංකාවේ හැමතැනම වගේ ඉන්ධන පිරවුම්හල් තියන නිසා හැම වෙලාවෙම ඔබ ෆුල් ටෑන්ක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනික් අතට ඔබ ෆුල් ටෑන්ක් කරනකොට ඔබට වෙන අවාසිය සහ වංචාව  ඔබ දන්නවාද?

බලන්න මෙතනදී වෙන දේ. ඔබ කියනවා අදාල පොම්පකරුට ෆුල් ටෑන්ක් ගහන්න කියලා. ඔහු මොකද කරන්නේ ඔහු පුරවන්වා ඉන්ධන. එක් වෙලාවකදී මොකද වෙන්නේ ඔබට ඇහිලා ඇති ක්ලික් හඩක් එක්ක මැෂින් එක නැත්නම් පොම්පයෙන් ඉන්ධන එන එක නවතිනවා. මෙහෙම වෙන්නේ ඉන්ධන බටයේ නොසලයේ තෙල් සහ ටැංකියේ තෙල් එකිනෙක හා ගැටුන විටදී. ඒ කියන්නේ ටැංකිය ෆුල් වෙලා ඉවරයි කියන එක. ඒත් පොම්පකරු නවත්වන්නේ නැහැ ඔහු මොකද කරන්නේ නොසලය පොඩ්ඩක් ටැංකියෙන් උස්සල්ලා ආයිත් ඉන්ධන පුරවනවා. ඒත් මෙතනදී ඔබට වෙන අවාසිය තමයි කලින් ක්ලික් හඩක් සමග මැෂින් එක ඕෆ් වුනු විටදීම අදාල බටයේ ඇති ඉන්ධන ප්‍රමානය වේපර් රිකවරි සිස්ටම් එක හරහා නැවත භූගත ටැංකියට යනවා කියන එක ඒත් එහෙම ගියා කියලා ඔබ දැකලා තියනවද මැෂින් එකේ ඔබ ගෙවිය යුතු ගාන අඩුවෙනවා? වඩාත් හොදින් මේ දේ බලන්න පහල වීඩියෝ එක හරහා ඔබට පුලුවන්.


දැක්කනේ වෙන වැඩේ, ඒක නිසා මේවගේ අවස්ථාවකදී වෙන්නේ ටැංකියට ගහන තෙල් ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයකට ඔබ ගෙවනවා නේද? හොදම් දේ තමයි මේ වගේ වෙලාවකදී අපි කලින් කිව්වා වගේ "ක්ලික්" ශබ්දය ඇහුනු ගමන්ම ඇති කියලා නවත්තන එක.ඒත් ඒවෙලාවේ ඔබ ගෙවිය යුතු මුදල රවුම් ගානක් නම් වෙන එකක් නැහැ ඒවගේ වෙලාවට පුලුවන් ඔබට කාඩ්පතක් හරහා අදාල නියමිත මුදලම ගෙවලා දාන්න.

11 - Don’t fill up when you see a tanker truck


මේක සුලභව සිදුවන දෙයක් නෙමෙයි ඒත් සමහර වෙලාවට ඔබට මුහුන දෙන්න වෙන්න පුලුවන්. ඔබ ඉන්ධන පුරවන්න යන සමහර අවස්ථාවන්වලදී දැකලා ඇති ලොකු බවුසර් ඇවිල්ලා භූගත ටැංකිවලට තෙල් පුරවනවා. මේ වගේ වෙලාවකදී ඔබට මොනවද හිතෙන්නේ ෂුවට් එකටම ඔබට හිතෙනවා අම්මේ මේ ෆ්‍රෙෂ් තෙල්නේ ලෝඩ් වෙන්නේ ටක් ගාලා ගහගන්න ඕනි කියලා. ඒත් මෙතනදී ඔබ කොච්චර මෝඩද එහෙම හිතෙනවනම් කියලා ඔබ දන්නවාද?

ඉන්ධන පිරවුම්හල්වල භූගත ටැංකිවල තමයි ඉන්ධන ගබඩා කරලා තියෙන්නේ ඒවගේම මේ ආකාරයට ඉන්ධන පිටතින් පුරවන්නේ අදාල භූගත ටැංකිවල තෙල් මට්ටම එක්තරා අගයකට අඩුවුනාට පස්සේ. මෙතනදී වෙන දේ සරලව තේරුම් කලොත් මෙහෙමයි. මේ ඉන්ධන ගබඩා කරලා තියන භූගත ටැංකි ඔබේ වාහනේ ඉන්ධන ටැංකියේම විශාල සංස්කරණ කිව්වොත් නිවැරදියි.කාලයක් මේ ටැංකිවල තෙල් තියනකොට මොකද වෙන්නේ මේ තෙල්වල අඩංගු වෙන අපවිත්‍ර ද්‍රව්‍යයන් මන්ඩි හැටියට මිදෙන්න ගන්නවා පතුලේ. ඒක තෙල්වල නෙමෙයි ඕනිම දෙයක වෙන දෙයක් කාලයක් යනකොට ඔබ දන්නවා ඒක. ඒත් මේ වගේ වෙලාවකදී අර වගේ බවුසරයකින් තෙල් පොම්ප කරනකොට අදාල භූගත ටැංකියට අර මිදිලා තියන දේවල් ආයිත් ඇවිස්සිලා කලවම් වෙන්න පටන් ගන්නවා. ඉතින් ෆ්‍රෙෂ් තෙල් කියලා ඔබ පුරවගන්නේ මොනවද කියලා දැන් හිතාගන්න පුලුවන්නේ ඒ වගේ වෙලාවක.ඒනිසා ඔබ තෙල් පුරවගන්න යනකොට මේ වගේ පිටතින් තෙල් පොම්ප කරමින් පවතින්නේ නම් වඩා හොදයි වෙනත් ස්ථානයකින් තෙල් ගහගන්න එක.

12 - Refuel in the Morning


අපි කලින් කිව්වා උදේ වරුවේ තෙල් ගහගන්න එක හොදයි කියලා මේක හරියටම 100% සත්‍යද කියන එක පරීක්ෂා කරගන්න ක්‍රමයක් නැති වුනත් මේ හා සම්භන්ධ සිද්ධාන්තයන් ඇසුරින් අපිට මේ ගැන අවබෝධයක් ගන්න පුලුවන්කම තියනවා.

මේ ගැන තියන කල්පිතය තමයි සාමාන්‍යයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන වල ඇතුලත් වෙන අංශු ප්‍රසාරනය වෙන්න පටන් ගන්නවා උෂ්නත්වය වැඩිවීමත් සමගම යම් මට්ටමක් දක්වා.නමුත් ඔබ උදේ පාන්දරම තෙල් ගහගන්නවානම් ඒ වෙලාවේ අපි හිතමු වෙලාව උදේ 6.00 කියලා. ඒත් ඒවගේ වෙලාවකදී අවට උෂ්නත්වය වැඩි නැහැ. ඒත් ඔබ තෙල් ගහනවානම් දවල් 2.00 වගේ වෙලාවක ඒවෙලාවට අවට උෂ්නත්වය උදේට වඩා වැඩියි නේද? අපි හිතමු ඔබ පුරවන්නේ පෙට්‍රල් කියලා, පෙට්‍රල් කියන්නෙ වාෂප්ශීලී ද්‍රවයක් උෂ්නත්වය වැඩිවුනොත් ඉක්මනට වාෂ්ප වෙන්න බලනවා.කෙසේ නමුත් මේක ගොඩක් පොඩියි. උදාහරණයක් හැටියට දවල් වරුවක ඔබ ලීටර් 10ක් වගේ ගහනවානම් මේ ආකාරයට වාෂප වෙන්න පුලුවන් ප්‍රමානය නොගිනිය හැකි තරම් කුඩා වෙනවා, ඒත් ඒකෙන් කියන්නෑ වාෂ්ප විදියට තෙල් ඉවත් වෙන්නෑ කියන එක. ඒක නිසා කම්මැලි වෙන්නැතුව උදේම ගිහිල්ලා තෙල් ගහගන්න එක කෝකටත් හොදයි. අනික ඒවගේ වෙලාවට කට්ටිය අඩු වගේම පෝලිම් නැති නිසා ඔබේ කාලයත් ඉතුරු වෙනවා. ඒකත් ඔබට වාසියක්.

Final Conclusion

මෙතනදී අපි විස්තරාත්මකව සදහන් කලේ බහුලව වගේම සුලභව භාවිතා වන වංචනික ක්‍රම සහ ඒවා වෙන්නේ කොහොමද වගේම ඒවා වලක්වාගන්න මොන වගේ දේවල්ද ඔබ කල යුත්තේ කියන එක. මුලින්ම කිව්වා වගේ අපි මෙතනදී කියන්නෑ ලංකාවේ හැම ෂෙඩ් එකකම මේක වෙනවා කියලා ඒත් ඔබත් දන්න විදියට අද කාලේ කාවද විශ්වාස කරන්න පුලුවන් විශේෂයෙන්ම මුදල් හා සම්භන්ධ ගනුදෙනුවලදී? ඒක නිසා කෝකටත් මේවා ගැන සැලකිලිමත් වෙන එක හොදයි නේද?

සමහර කරුනු වල පොඩි අඩුපාඩු තියනවා වගේම ඔබ දන්න අලුත් කරුණුත් තියෙන්න පුලුවන්, මේ පෝස්ට් එක පට්ට දිග එකක් වගේ ඇති ඔබට මොකද මේක ලියන්න දවස් දෙකක් විතර ගියා වැඩත් එක්ක. එහෙම හරි මහන්සිවෙලා මේක ලිව්වේ කොච්චර දිග වුනත් මේ හැම කරුනක් ගැනම ඔබ දැනුවත් වන එක අවශ්‍යයි කියලා හිතුනු නිසා මොකද මේ විදියට නාස්ති වෙනෙන හරි එහෙමත් නැත්නම් වංචාවලට හසුවෙන්නේ ඔබ මහන්සියෙන් උපයා ගන්නා සල්ලි ඒකේ කැක්කුම තියෙන්නේ ඔබට. ඒක නිසා මේ අපි විස්තර කරපු කරුනු පිලිබද හොදින් අවධානය යොමු කරන එක හරහා ඔබට ඉතුරුවෙන මුදල එක් වරකට පොඩි වුනත් එක්තරා කාලයක එකතුවක් විදියට ගත්තොත් විශාල ගානක් වෙන්න පුලුවන්.

ලිපිය ගැන ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම ඔබට කරන්න පුලුවන් ලොකුම දේ තමයි මේ ගැන හැකිතාක් ෂෙයාර් කරලා නොදන්නා අයව මේ වගේ වංචාවලින් / ගැටවලින් බේරා ගන්න අවශ්‍ය කරන දැනුම ඔවුන්ට ලබාදෙන එක. කලින් කිවා වගේම හොද, නරක, ගල් මුල්, ප්‍රශංසා මේ ඕනිම දේකට පහල අපේ කමෙන්ට් තීරුව ඔබට විවෘතයි.